හැරී පොටර් අවුරුදු 20ක වීර ක්‍රියා | A3BOOk

හැරී පොටර් අවුරුදු 20ක වීර ක්‍රියා

 

ඉකුත් ජුනි 26 වැනි දා ලොව පුරා වෙසෙන සුවහසක් හැරී පොටර් රසිකයින්ට සුවිශේෂි දිනයක් විය. ඒ විශ්වාස කිරීමට අපහසු වුවත්, ලොව පුරා බාල මහලු භේදයකින් තොරව පාඨක ප්‍රජාවට විස්මිත ඉන්ද්‍රජාලික ලෝකයක් මවා දෙමින්, කියවීමේ උන්මාදයක් බිහිකළ ඒ අසිරිමත් මායාකාර චරිතය ලෝකයට පිය නඟා එදිනට වසර විස්සක් සපිරුණු නිසාය.

‘හැරී පොටර්‘ නමැති මෙම අපුරු මායාකාර කොලු ගැටයාගේ හිමිකාරිණිය වන ‘ජේ.කේ.රෝලින්‘ නොහොත් ‘ජොඈන් රෝලින්ගේ‘ සිත තුළ හැරී පොටර් පිළිසිඳ ගත්තේ ලන්ඩන් නුවර සිට මැන්චෙස්ටර් නුවර බලා දුම්රියකින් ගමන් ගනිමින් සිටි අවස්ථාවකදීයි.

හැරී පොටර් පොත් පෙළේ පළමු කොටස රෝලින් ලියා නිමකළේ 1995 දී ය. ප්‍රකාශකයන් ගණනාවක් වෙතින්ම ප්‍රතික්ෂේප වූ මෙම අත්පිටපතේ පළමු මුද්‍රණය 1997 ජුනි 26දා එක්සත් රාජධානියේදී එළිදැක්වුණේ ‘බ්ලුම්ස්බරි‘ ප්‍රකාශනයක් ලෙසිනි. ආධුනික ලේඛිකාවක වූ නිසාම පිටපත් පන්සියයකට වඩා මුද්‍රණය කිරීමෙන් වැළකුණු බ්ලුම්ස්බරි සමාගමට පුදුමයකට මෙන් එතැන් සිට හැරී පොටර් මුද්‍රණය කිරීමෙන් ඉස්පාසුවක් ලැබීමට හැකිවුයේ නැත. ඒ එතැන් සිට පළ වූ කොටස් හතකින් යුතු සමස්ත හැරි පොටර් කතා මාලාවේ පිටපත් මිලියන හාරසිය පනහකට අධික සංඛ්‍යාවක් උණු කැවුම් මෙන් වාර්තා පිට වාර්තා තබමින් අලෙවි වූයේ ය . අද වන විට හැරී පොටර් එලෙස තම මායාමය බලයෙන් ලෝකය සිය අණසකට ගෙන වසර විස්සක් ගෙවී අවසන් ය. දශක දෙකක් තුළදී හැරි පොටර් විශ්ව සාහිත්‍යය වෙනස් කර ඇත.

රෝලින් හැරී පොටර් රචනා කළේ ළමුන් ඉලක්ක කර ගනිමින් වුවත්, හැරි පොටර් උන්මාදයෙන් ආතුරවූයේ ළමුන් පමණක් නොවේ.

පොත් කියවීම ‘රසවින්දනාත්මක පරාසයෙන්ද‘ ඔබ්බට ගොස් ‘ඇබ්බැහි වීමක්‘ දක්වා වර්ධනය වූයේ ‘හැරී පොටර්‘ නිසා බව කීම නිවැරදිය. 1999දී, ‘ප්‍රිස්නර් ඔෆ් අස්කාබාන්‘( Prisoner of Azkaban ) පොත මුද්‍රණ ද්වාරයෙන් එළිදැක්වීම හරියටම පස්වරු 3.45ට සැලසුම් කිරීමට පොත් ප්‍රකාශකයන් පියවර ගත්තේ එක්සත් රාජධානියේ හා වේල්සයේ දරුවන් පොත මිලදී ගැනීමට පාසලෙන් කට්ටි පැනීම වැළැක්වීම සඳහාය. පසුකාලවලදී හැරී පොටර් පොත් බලා ඉඳිද්දී මෙන් ප්‍රමාණයෙන් දැවැන්ත වුවත්, එම දැවැන්තභාවය එහි ජනප්‍රියත්වය තව තවත් වැඩිවීමට මිස අඩු කිරීමට හේතුවක් වූයේ නැත. ස්කොට්ලන්තයේ ශා. ඇන්ඩෘස් විශ්වවිද්‍යාලය විසින් සාහිත්‍ය කෙතේ පුනරුදය වෙනුවෙන් ජේ.කේ. රෝලින් කළ විශිෂ්ට සේවය අගයමින් ඇයට ගෞරව උපාධියක් පිරිනමමින් ප්‍රකාශ කළේ “රූපවාහිනිය, නින්ටෙන්ඩෝ, ගේම්බෝයි වැනි ප්‍රබල සමකාලීන රසවින්දන මාධ්‍යන් අතර තවමත් ලෝකයම වුවත් වසඟයට ගැනීමේ හැකියාවක් පොත් සතුව ඇති බව ඇය ඔප්පු කළ බවයි“

හැරී පොටර්, පාඨකයන් අතර කියවීමේ පමණක් නොව ලිවීමේ උන්මාදයක් බිහිකිරීමටද පුරෝගාමි විය. තම කෘතිය මිළඟ ‘හැරී පොටර්‘ වනු ඇති බවට අපේක්ෂාවෙන් ‘ආටිමිස් ෆවුල්‘, ‘ද ස්පයිඩර්වික් ක්‍රොනිකලස්‘ වැනි යොවුන් මනංකල්පිත ප්‍රබන්ධ එක පිට එක රචනා වුයෙත්, ‘ට්වයිලයිට්‘, ‘ද හන්ගර් ගේම්ස්‘ වැනි ඈඳුතු පෙලේ නවකතා බිහිවුයෙත් හැරී පොටර්ගෙන් ලත් ආභාසයෙනි.

එතෙකින් නොනැවතුණු හැරී පොටර් ඉංග්‍රීසි භාෂාව පවා ආක්‍රමණය කළේය. ඒ හැරී පොටර් තුළින් ව්‍යවහාරයට අලුතින් හදුන්වා දුන් රෝලින්ගේ නිර්මාණාත්මක යෙදුම් බොහෝමයක් ‘ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට‘ පවා ඇතුළත් වීමට වරම් ලැබීමෙනි.

 

රෝලින්ගේ ‘muggle‘ (මග්ල් - මායාකරුවන් නොවන සාමාන්‍ය පුද්ගලයන් මායාලෝකයේදී හැඳින්වෙන්නේ මෙනමිනි) යන යෙදුම වසර පහකටත් අඩු කාලයක් තුළදී ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ සටහන් විය.

පෘථග්ජන ලෝකය තුළ ෙමන්ම එය ජගත් ක්‍රීඩා කරළියේද සිය නම රැන්ඳුවේය. ඒ හැරී පොටර්ගේ ලෝකයේ උන්මාදයක්ව තිබෙන ‘ක්විඩිච්‘ ක්‍රීඩාව ඉන්ද්‍රජාලික හැකියාවන්ගෙන් තොර ලෝකයට ගැලපෙන අනුවර්තන සහිතව අවතීර්ණ වීමෙනි. 2005 වසරේදී ඇමරිකාවේදී ඇරඹුණු මෙම ක්‍රීඩාව අද

ජාත්‍යන්තර ක්‍රීඩාවකි. වසරක් පාසා ලෝක කුසලාන තරගාවලියක්ද පැවැත්වෙන එහිදි ක්විඩිච් ජගත් කිරුළ පසුගිය වසරේදි හිමි කරගත්තේ ඕස්ට්‍රේලියාව විසිනි.

සාහිත්‍ය ක්ෂේත්‍රයෙන් සිනමාවටද වරම් ලැබූ හැරී පොටර් චිත්‍රපට මාලාව තැබු ඇමරිකන් ඩොලර් බිලියන 7.7ක ආදායම් වාර්තාව මෑතක් වන තුරුම සිනමා නොබිඳී පැවතිණි. 2001දි තිරගතවු පළමු හැරී පොටර් චිත්‍රපටයෙන් හොලිවුඩයට නැතුවම බැරි තාරකාවන් දෙපළක් වන ඩැනියෙල් රැඩ්ක්ලිෆ් (හැරී) හා එමා වොට්සන්ගේ (හර්මොයිනි ග්‍රැන්ජර්) සිනමා සම්ප්‍රාප්තියද සටහන් විය. හැරී පොටර් චිත්‍රපට මාලාවේ අටවන හා අවසන් චිත්‍රපටය වන ‘හැරී පොටර් ඇන්ඩ්ද ඩෙත්ලි හැලෝස්‘ දෙවන කොටස එදා මෙදා තුර සිනමා ඉතිහාසය තුළ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට ලැයිස්තුවේ අටවන ස්ථානය හොබවන්නේය.

පසුගිය වසරේදී හැරී පොටර් රිදී තිරයෙන් වේදිකාවටද ගොඩවූයේ ‘පොටර් උන්මාදය‘ විසි වසරක් ගතවීත් අඩුවක්ව නැති බව මොනවට ඔප්පු කරමිනි. මැදි වියට එළැඹුණු හැරී, හර්මොයිනි හා රොන්ගේ ඊළඟ පරම්පරාව කරළියට ගෙනෙන ‘හැරී පොටර් ඇන්ඩ් ද කර්ස්ඩ් චයිල්ඩ්‘ වේදිකා නාට්‍යය උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද මෙම වසරේ පැවති “ඔලිවියර් සම්මාන උළේලේදි‘ වාර්තාගත සම්මාන නවයකටම හිමිකම් කීවේ එහෙයිනි. ඇමරිකානු ජනපති ‘ඩොනල්ඩ් ට්‍රම්ප්ව‘ පසුගිය කාලයේදි හැරී පොටර් කතා මාලාවේ දුෂ්ඨයා වන ‘වොල්ඩර්මෝට්‘ට සමාන කර තිබුණේය. (නමුත් ඊට පිළිතුරු දෙමින් රෝලින් කියා තිබුණේ වෝලඩර්මෝට්, ට්‍රම්ප් තරම් දුෂ්ඨයකු නොවන බවයි. මෙම ප්‍රකාශය ට්විටර් ඇතුව සමාජ ජාල කළඹමින් දැවැන්ත ආන්දෝලනයක් ඇති කිරීමට හේතු වී තිබිණි. ) අවසානයේදී හැරී පොටර් හා ලෝක බලවතා එකම වේදිකාවකට සැපත් වූයේ එලෙසිනි.

Posted in Features on June 06 2022 at 06:44 PM
Comments (1)
No login
gif
Login or register to post your comment
සෑම අයෙක්ම කියවිය යුතු ලිපියක්
An article that everyone should read