දඹදෙණි රජවරුන්ගේ ආරම්භය සිදුවූ බෙලිගල | A3BOOk

දඹදෙණි රජවරුන්ගේ ආරම්භය සිදුවූ බෙලිගල

සබරගමුව පළාතේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ, කෑගල්ල නගරයේ සිට කිලෝමීටර් 13 ක් ගිය විට මෙම ස්ථානයට ළඟා විය හැක. කෑගල්ල පොල්ගහවෙල මාර්ගයේ කෝංගස්හංදිය මංසන්ධියේ සිට කිලෝමීටර් 09 ක් ගිය විට බෙලිගල ගම හමුවේ. දැනට ලංකාවේ තිබෙන ඓතිහාසිකම ප්‍රදේශයක් ලෙස බෙලිගල හැඳින්විය හැකිය. මෙම ගම්පියස නිසා සබරගමුව පළාත මෙන්ම මුළු ලංකාවම ප්‍රසිද්ධියට පත් විය. මෙය අතීත රජ දවසට නෑකම් කියන පෞරාණික ප්‍රදේශයකි. 


මේ පිළිබඳව විවිධ කතා ප්‍රවෘත්ති ඇත. වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අයත් වන බෙලිගල කෝරලයට මෙම ගම් පියස අයත් වේ. මෙම ගම් ප්‍රදේශයට නෑකම් කියන ගම් 7 ක් තිබේ. එනම් තල්ගම, මැටියගනේ, බෝවෙල, කුඹල්ගම, වඩුකන්ද, ඈගල්ල, බෙලිගල යන ගම් 7 යි. මෙම ගම්වලට නම් ලැබීම පිළිබඳ රසවත් කතා පුවත් තිබේ. 
තල්ගම ගම පිළිබඳ ඉතිහාස ගත තොරතුරුවල සඳහන්වන්නේ තල්ගස් විශාල සංඛ්‍යාවක් වැවී තිබුණු නිසා තල්ගම වූ බවය. කුඹල්ගම පිළිබඳව තොරතුරු සඳහන් වන්නේ කුඹල්ගම යනු කුඹල් කර්මානතයේ යෙදුණු පිරිසක් ජීවත් වූ ප්‍රදේශයයි. වඩුකන්ද ගම පිළිබඳව සඳහන් වන්නේ වඩු කර්මාන්තයේ යැපෙන පිරිසක් ජීවත් වූ ගම පසුව වඩුකන්ද විය. 
මෙම ප්‍ර​දේශය ජනාකීර්ණ තත්ත්වයට පත්ව නැත. දැනට බෙලිගල විජයසුන්දරාරාම රජ මහා විහාරස්ථානය බෙලිගල බෝධිරාජ මහා විද්‍යාලය, බෙලිගල තැපැල් හල, බෙලිගල රජයේ රෝහල පිහිටා ඇත. 


​මෙම සුන්දර ගම් පියසේ 1926 වසරේ ඇරඹි බෙලිගල බෝධිරාජ මහා විද්‍යාලයෙන් විශාල පිරිසක් රටේ ඉහළ පුරවැසියන් බවට පත්ව සිටිති. දැනට සිසුන් 3000 කට අධික සංඛ්‍යාවක් මෙම විද්‍යාලයේ ඉගෙනුම ලබති. බෙලිගල රජයේ රෝහල දැනට ප්‍රාදේශීය රෝහලක් බවට පත්කර ඇත. එම නිසා ප්‍රදේශයේ විශාල පිරිසකට සෞඛ්‍ය පහසුකම් සැලසී ඇත. 
දැදිගම ඕතර පත්තුවේ බෙලිගල් කෝරලේට අයිති මෙම ප්‍රදේශය මනරම් කඳු වළල්ලකින් වට වී ඇත. දැනට රබර්, පොල් වගා කෙරේ. බෙලිගල ගම් පියස පිළිබඳව මනරම් කතා පුවත් සඳහන් වේ. බෙලිගල තිබෙන මහ බෙලිගල පර්වතයේ විශාල මනරම් මාළිගාවක් කරවා ඇත. එහි දඹදෙණිය රාජධානියේ රජ කළ 3 වැනි විජයබාහු රජතුමා පිළිබඳ කතා ප්‍රවෘත්තියක් ඇත. කාලිංග මාඝ ආක්‍රමණයෙන් පසු විනාශ මුඛයට පත් පොළොන්නරුව රාජධානිය බිඳ වැටීමත් සමග දඹදෙණිය රාජධානිය වශයෙන් පත්කර ගත් 3 වැනි විජයබාහු රජතුමා (ක්‍රි.ව. 1240 - 1267) කාලයේ කොත්මලේ සඟවා තිබූ දන්ත ධාතූන් වහන්සේ බෙලිගලට වැඩම කරවා බෙලිගල මහබෙලිගල නම් වූ ස්ථානයේ විශාල පර්වත මස්තකයේ මනරම් දළදා මැඳුරක් කරවා දළදා වහන්සේ එහි වැඩම කොට හිඳුවා වත් පිළිවෙත් කළේය. දළදා වහන්සේට උපස්ථාන කිරීම සඳහා එහි අවට තිබෙන බෙලිගල විජය සුන්දරාරාම රාජමහා විහාරය කරවා එහි භික්ෂූන් වහන්සේලාට පූජා කිරීම 3 වැනි විජයබාහු රජතුමා සිදු කරන ලදී. මෙහි වාසය කරමින් දළදා වහන්සේට උපස්ථාන කළ බව සඳහන් වේ. 


බෙලිගල පර්වත මුදුනෙහි දෙව් විමනක් මෙන් මනරම් දළදා මාළිගයක් ඉදිකොට බෙලිගල සිසාරා පවුරු පදනමේ සකසක් කොට දළදා වහන්සේ ආරක්ෂාව සැපයූ බවත් සඳහන් වේ. දැනට මහ බෙලිගල නම් වූ පර්වතයේ නටබුන් දක්නට ලැබේ. පුවරු පදනම් කොට කරපු සියල්ල අද දක්නට ලැබෙන්නේ නැත. දැනට එදා දිය නෑමට භාවිත කළ පොකුණ මෙම ස්ථානයේ දක්නට ලැබේ. එසේම ශ්‍රී ලංකාවේ පිහිටි කටාරං කෙටූ කුඩාම ලෙන ලෙස සැලකෙන ගල්ලෙන මෙන්ම තවත් ගල්ලෙන් දෙකක් ද මෙහි දක්නට ලැබේ. 
ගජබා රජතුමා ක්‍රි.ව. 173-195 දැදිගම නුවර හළු කරවා බෙලිගල නම් නුවරක් කරවූ බව බණ්ඩාරගම විත්තියේ මෙසේ සඳහන්ය. තවද ගජබා නරපති තෙමේ සොළීන් රැගෙන ලක්දිවට පැමිණි පසු මහා සෙනඟ පිරිවරාගෙන ගොස් දැදිගම නුවර හළු කරවා එතෙන බෙලිගල් නම් නුවරක් කරවන්නට පටන්ගෙන අයම් විතරින් එක් විසි රියනක් වූ නම මහල් ප්‍රාසාදයක් සහ ඒ අවට කුළු ගෙවල් පන්සියයක් ද දහ අටක් ගබඩා ගෙවල් හා හැට පහක් අරමුදලක් ගෙවල් ද තනා නිම කොට නව මහල් ප්‍රාසාදයක් බටහිරින් විහාර ගෙයක් තනා බෝ කොටුවක් ද කරවා ගම්පොළ නුවර නිධන් කොට තැනූ දන්ත ධාතූන් වහන්සේ වඩා ගෙන ගොස් බෙලිගල පර්වත මුදුනේ මැඳුරක් කරවා එහි තැබුවේය. 
තවද බෙලිගල විජය සුන්දරාරාම මහා විහාරස්ථානය පිළිබඳව සඳහන් කිරීමේදී දේවානම් පියතිස්ස රජ සමයෙහි මහ මෙව්නාවේ උයනෙහි රෝපණය කරන ලද ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දෙතිස් මහා ඵලයෙන් එක් ඵලයක් රන් කඩුවක් රෝපණය කර බෙලිගලට වැඩම කරවා බෙලිගල ශුද්ධ කර බෙලිඵල කෙටූ ගල් ටැඹක මත බෝ පැළයක් සහිත රන් කටාරමක තබා බෝධිය පිහිට වූ බව වංශ කතා සඳහන් කරයි. 


තවද බුදුරාජාණන් වහන්සේ දන් වැළඳූ පාත්‍රා ධාතූන් වහන්සේ අග්‍රගණ්‍ය පූජා වස්තුවකි. පාත්‍රා ධාතූන් වහන්සේ ලක්දිවට වැඩම වීමෙන් අනතුරුව ලක්දිව නොයෙකුත් ස්ථානයන්හි කලින් කලට තැන්පත්ව ඇත්තේ බෙලිගල විහාර භූමියෙහි පිහිටි චෛත්‍ය්‍ය රාජයාණන් වහන්සේගේ ගර්භයෙහි බවට සඳහන් වේ.
තව සුවිශේෂ කරුණක් වන්නේ බෙලිගල විහාර සඳකඩපහණයි. පුරාණ ගල් වඩුවාගේ අග්‍රගණ්‍ය නිර්මාණයක් වන සඳකඩපහණෙහි පුරාණ ලක්ෂණ හා වෙනස් වෙමින් පොළෙනේනරුව යුගයේ සඳකඩපහණ බිහි විය. එය අනුරාධපුර සඳකඩපහණෙහි ඇති ගවයා ඉවත්ව ලියැවල් හා පළාපෙති එක් විය. එසේම අඩකවයට මඳක් වැඩියෙන් වන පරිදි නිම වෙන ලද සඳකඩපහණක් ද විය. සාම්ප්‍රදායික නිර්මාණයෙන් බැහැර වූ බෙලිගල විහාරස්ථානයෙහි පිහිටි සඳකඩපහණ පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත්තය. මෙහි විශේෂිතම ලක්ෂණය වන්නේ සත්ව රූප පිහිටා ඇති ආකාරයයි. 
බොහෝ විට සඳකඩපහණෙහි සත්ව රූප එක් කෙළවරකින් පටන් ගෙන අනෙක් කෙළවර දක්වා එක් පැත්තකට පිහිටන පිරිදි නිර්මාණය කර ඇත. බෙලිගල සඳකඩපහණෙහි සත්ව රූප දෙපැත්තෙන් පටන් ගෙන මැදදී හමු වන ලෙසට නිර්මාණය කර ඇත. 


මධ්‍යයේ පිහිටි පද්මය උස්කොට පිහිටා ඇති අතර එය ආර්ධ කවයකට වැඩි වන ලෙසට නිර්මාණය කර ඇත. සඳකඩපහණෙහි පිටත කෙළවර මකර රූප දෙකකි. අවසන් කවයෙහි ලියවැල් වෙනුවට නිර්මාණය කර ඇත්තේ ගිනි දැල්ය. පිටත කවයේ සිට පිළිවෙළින් සිංහ ඇත් අශ්ව රූප කව දක්නට ඇත. මෙහි වි​ශේෂ ලක්ෂණය වන්නේ මෙහි දැක්වෙන සියලු සත්ව රූප පෙළෙහි සිංහයන්ගේ හිස් පිටුපසට හැරී ඇත. ඇත්පෙළ පිටපුස කකුල් මඳක් ඔසවාගෙන ඇත. ඇතුළතින්ම පිහිටි කවයෙහි අශ්වයින් දස දෙනෙකි. ඔවුන්ගේ හිස් පස්සට නැමී ඇත. මෙය බෙලිගලට විශේෂිත වූ සඳකඩපහණකි. 


බෙලිගල ගමට නම හැදුණු හැටි පිළිබඳව සඳහන් කිරීමේදී තිවංක නම් බමුණු කුල පුත්‍රයෙකු අටළොස් කුලයක සිට අෂ්ට ඵල බෝධීන් වහන්සේ නමක් වැඩමවා ගෙන දකුණු දිසාවට යන ගමනේදී රාත්‍රිය උදා වූ හෙයින් බෙලිගල වෙහෙරෙහි රජු නවාතැන් ගෙන පසු බැලීමේදී බෝධීන් වහන්සේ සහිත රන් පාත්‍රය අසල වූ බෙලිගාලක දෙබලක් මත රඳවා පසුදා උදෑසන ගමනට සූදානම්ව බැලීමේදී පාත්‍රය සිදුරු කරගෙන බෝධි වහන්සේගේ මුල් බිමට වැදී ඇති බව දැක මෙයට හිමි ස්ථානය මෙය ලෙස සලකා එය ස්ථාපිත කරන ලදී. මෙය අවට ඇති බෙලිගල පර්වතය බෙලිගෙඩියක හැඩය ගත් නිසා බෙලිගල ව බව සඳහන් වේ. තව සුවිශේෂ කරුණක් වන්නේ සත් පෙරහර මංගල්‍යය පැවැත්වීමයි. බෙලිගල අවට ගම් 7 ක ජනතාව වෙසක් පෝය දින රාත්‍රියේ පුරා මහා පෙරහරවල් 7 ක් අලි ඇතුන් සහිතව උඩරට පහත රට නර්තන අංගයන්ගෙන් යුක්තව බෙලිගල විහාරස්ථානයට පැමිණීමයි. එය සුවිශේෂ කරුණකි. මෙම පෙරහර දෙවැනි වන්නේ මහනුවර දළදා මාලිගාව පෙරහැරට බව සඳහන් වේ.

Posted in Educational on June 05 2022 at 07:03 PM
Comments (1)
No login
gif
Login or register to post your comment
ගොඩක් හොද ලිපියක්