අරන්කැලේ ආරාම සංකීර්ණය පිළිබඳව විමසා බැලීමේ දී කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ කුඹුක්‌ගැටේ නම් නගරයට සමීපව අරන්කැලේ නම් වූ ග්‍රාමයෙහි මෙම ආරාම සංකීර්ණය දැකගත හැකිය. ඉතිහාසඥයන් දක්‌වන අන්දමට මෙම ප්‍රදේශය විජයාවතරණයේ සිටම ජනාවාස වී තිබේ. මෙම ආරාම සංකීර්ණය වළගම්බා රජු දවසට අයත් ලෙස සලකනු ලබන අතර භික්‌ෂුන් වහන්සේලාගේ අවශ්‍යතාවන් උදෙසා ඉදිකරන ලද්දකි. අරන්කැලේ ආරාම සංකීර්ණය පිළිබඳව මූලාශ්‍රයන්හි තොරතුරු සඳහන් වනුයේ ඉතාමත් අල්ප ලෙසය. මෙම ආරාම සංකීර්ණයෙහි කර්තෘ කවරෙක්‌ද යන්න අවිනිශ්චිත කරුණකි. එහෙත් පුරාවිද්‍යාඥයන් දක්‌වන අන්දමට ඉතා දිගු ඉතිහාසයක් මේ සඳහා පවතී, ජන ප්‍රවාදයන්වලට අනුව මලියදේව මහ රහතන් වහන්සේ මෙහි වැඩ වාසය කර තිබේ.එසේම අරන්කැලේ ආරාම සංකීර්ණයෙහි ප්‍රභවය පිළිබඳව පවතින තවත් ජනප්‍රවාදයක් මෙසේය. දුටුගැමුණු රජතුමා මෙහි තිබූ ගල්ලෙන දැක එම ස්‌ථානයෙහි විහාරයක් කරවන ලෙස පවසා තිබේ. එහෙත් එම කාර්ය කිරීමට දුටුගැමුණු රජතුමාට නොහැකි වී තිබේ. එහිදී සද්ධාතිස්‌ස රජතුමා ගල්ලෙන සහ එයට අමතරව කුටි, පොකුණු යනාදිය ඉදිකර මලියදේව රහතන් වහන්සේට පූජා කරන ලද බව සඳහන්ය. එකල මෙම ආරාම සංකීර්ණය "අරම් වෙහෙර" යනුවෙන් ව්‍යවහාර කරන ලදී.අරන්කැලේ ආරාම සංකීර්ණය සම්බන්ධයෙන් පවතින ජනප්‍රවාදයන් අතර වළගම්බා රජු දවස මෙම ස්‌ථානය තිස්‌ස මහාපාය නමින් ප්‍රකට වූ බව සඳහන්ය. මෙම රජුගේ සමයේ දී මහාතිස්‌ස නම් වූ හිමි මෙහි වැඩ වාසය කර තිබෙන බව තවදුරටත් පවසනු ලබයි. කෙසේ වුවද අනුරාධපුරයෙහි රාජ්‍ය විචාල සද්ධාතිස්‌ස, වළගම්බා, බුද්ධදාස, සිරිසඟබෝ යන රජවරුන් මෙම ස්‌ථානය සඳහා අනුග්‍රහය දක්‌වන ලද බව සඳහන්ය. එමෙන්ම පොළොන්නරුව යුගයෙහි රාජ්‍ය පාලනය ගෙන ගිය නිශ්ශංකමල්ල රජු, දඹදෙණි සමයේ රාජ්‍ය විචාළ 1 වන බුවනෙකබාහු, කෝට්‌ටේ රජකම් කළ VI වන පරාක්‍රමබාහු රජුද අනුග්‍රහය දක්‌වන ලද බව ජනප්‍රවාදයේ සඳහන්ය. තවද නිශ්ශංකමල්ල රජතුමා මෙම ආරාමයෙහි වැඩ සිටි භික්‌ෂුන් වහන්සේලාට මහා දානයක් පිරිනමා සතුටට පත්වූ බව සෙල් ලිපියක දක්‌වා ඇති බව ඉතිහාසඥ අදහසයි. එම සෙල් ලිපිය අනුරාධපුර කෞතුකාගාරයෙහි තැන්පත් කරන ලද බවත්, හෝර්කාට් මහතා එහි මූලිකත්වය ගෙන ක්‍රියා කරන ලද බවත් සඳහන් කරුණකි.අරන්කැලේ ආරාම සංකීර්ණය අතීතයේ දී "අරම් වෙහෙර, දූම පබ්බත වෙහෙර" යනාදී නාමයන්ගෙන් ව්‍යවහාර කරන ලදී. අරන්කැලේ යන්න ප්‍රභවය වූයේ කෙසේද යන්න විමසා බැලීමද උචිතය. ඒ අනුව, අරන් යනු රහත්, අරහත් යන අර්ථයද, කැලේ යන්න වනය බවත් දක්‌වනු ලබයි. එම අර්ථයෙන් රහතන් වහන්සේලා වාසය කළ කැලය "අරන්කැලේ" යනුවෙන් ප්‍රසිද්ධියට පත්ව ඇත. 1922 වර්ෂයේ දී පුරාවිද්‍යා සංරක්‌ෂණ ප්‍රදේශයක් වශයෙන් මෙම ස්‌ථානය නම් කරන ලදී, වසර හතළිහක පමණ කාලයකට පසුව මෙම ස්‌ථානය වර්තමාන ස්‌වරූපයට පත්කරලීමට හැකියාව ලද බව පැවසේ. මෙම ආරාම සංකීර්ණයට ඇතුළත් අංග අතර බෝධිඝරය, පධානඝරය, සීමාමාලකය, චංකමනාගාරය, ද්විත්ව ගොඩනැඟිල්ල, සමුඛලෙන, පොකුණ මෙන්ම පියගැට සහිත පෙත්මඟ යනාදිය වැදගත්ය.මෙම ආරාම සංකීර්ණයෙහි දක්‌නට ලැබෙන ගොඩනැඟිලි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. එනම්, 1. පොදු ගොඩනැඟිලි2. පෞද්ගලික ගොඩනැඟිලි වශයෙනි.පොදු ගොඩනැඟිලි පිළිබඳව විමසා බැලීමේදී මෙහි දක්‌නට ලැබෙන ලක්‌ෂණය වනුයේ එකිනෙකට සම්බන්ධ වන ආකාරයෙන් මේවා ඉදිකර තිබීමයි. චංකමනාගාරය, සීමා මාලකය, සමුඛලෙන, ජන්තාඝරය, පධානඝරය යනාදී අංගයන් එකම ස්‌ථානයකට සමීපවන ආකාරයෙන් ඉදිකර තිබීම විශේෂත්වයකි. 1890 වර්ෂයේ දී H.C.P. බෙල් මහතා සහ හෝර්කාට් යන දෙදෙනා විසින් මෙම අංගයන් තහවුරු කර ගැනීමට සමත් වූහ.එසේම අරන්කැලේ ආරාම සංකීර්ණයෙහි පවතින්නා වූ අංගයන් පිළිබඳව කෙටියෙන් වුවද විමසා බැලීම සුදුසුය. මෙහි පිහිටා තිබෙන වැදගත් අංගයක් ලෙසින් උණු පැන්හල පෙන්වා දිය හැකිය. මෙවැනි අංගයන් ඉතා දුර්ලභය. දැනට සොයාගෙන තිබෙන උණු පැන්හල් අතර මහා විහාරය, ෙ-තවනාරාමය, මිහින්තලය සහ රිටිගල යනාදී ස්‌ථානයන් දැක්‌විය හැකිය. භාවනානුයෝගී භික්‌ෂුන් වහන්සේලා උණුදිය නෑම සාමාන්‍ය දෙයකි. පුරාවිද්‍යාඥයන් දක්‌වන අන්දමට උණුදිය නෑම සහ හුමාලය ඇඟ වැද්දවීම සඳහා මෙය යොදා ගනු ලබයි. ජන්තාඝරය යනුවෙන්ද හඳුන්වනු ලබන මෙහි දියුණු වෛද්‍ය ශාස්‌ත්‍රයක ලක්‌ෂණ පෙන්නුම් කරනු ලබයි. මෙම ස්‌ථානය අසල තිබී ඇඹරුම් ගල් දෙකක් සොයාගෙන තිබේ. එයට අමතරව වළං කැබලි සහ අඟුරු ලැබීමද විශේෂත්වයකි. එම අඟුරු කිතුල් සහ තල්දැව දැවීමෙන් ශේෂ වූ ඒවා බව දක්‌වනු ලබයි. මෙම ස්‌ථානයෙහි ලිප් ගල් 22 ක් පැවති බවට සලකුණු හමුවී තිබේ. මෙම ලිප් බෙහෙත් උණු කිරීම සඳහා භාවිතා කරන්නට ඇතැයි සැලකේ. එසේම මෙම උණු පැන්හල අසල ගල් තලාවෙහි කෙටි සෙල් ලිපි පාඨ දෙකක්‌ද හමුවීම විශේෂිත කරුණකි.මෙම ආරාම සංකීර්ණයෙහි දක්‌නට ලැබෙන තවත් සුවිශේෂී මෙන්ම වටිනා ගොඩනැඟිල්ල වශයෙන් චංකමනාගාරය පෙන්වාදිය හැකියි. මෙහි වහලක් තිබෙන්නට ඇතැයි සැලකේ. පුරාවිද්‍යාඥයන් දක්‌වන අන්දමට ලංකාවේ වහලක් සහිතව පැවති එකම චංකමනාගාරය මෙය වශයෙන් සලකනු ලබයි. වැසිකිළිය, කැසිකිළිය සහ දෝණිය එකට සම්බන්ධ කර ඉදිකර තිබීම වැදගත් වන අතර සෞඛ්‍යාරක්‌ෂිත ක්‍රම ගැන අවධානය යොමුකර තිබේ. මෙහි කැසිකිළි ගල විශේෂත්වයකි. එපමණක්‌ද නොව වැසිකිළිය සහ කැසිකිළිය සඳහා එකම වළක් යොදාගෙන තිබීම ද වැදගත් කරුණකි.චංකමනාගාරයෙහි දක්‌නට ලැබෙන දෝණිය භික්‌ෂුන් වහන්ස්‌ලා ශරීරය පිරිසිදු කරගැනීම සඳහා භාවිතයට ගන්නා ලද බව සඳහන්ය. එමෙන්ම පැරැණි ලංකාවේ අංගසම්පූර්ණ චංකමනාගාරය වශයෙන් මෙය සැලකිය හැකි බව පුරාවිද්‍යාඥ අදහසයි.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගණේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉබ්බාගමුවේ සිට මොරගොල්ලාගම දක්වා යන මාවතේ කුඹුක්වැව ග්‍රාමයේ ගොඩගාල හන්දියේ මංසලකුණු ඔස්සේ කි.මී. 3ක් පමණ ඔබ්බට යන විට හමු වන, සුසිල්වත් භාවනානුයෝගි භික්ෂූන් වැඩ වසන පින් බිමකි. ඒ නම් ලක්දිව කවුරුනුත් දැනගත යුතු මලියදේව මහ රහතන් වහන්සේ පිරිවරා 12000ක් රහතන් වහන්සේලා වැඩ විසූ බවට සාක්‍ෂි පවතින අරන්කැලේ මලියදේව සෙනසුන යි. ‘
නිශ්ශබ්ද වන්න’ පුවරුවේ සිට ඔබ්බට ඇති මහා වනාන්තරය මැදින් දිවෙන මග ඔස්සේ යන විට එක් පසෙකින් මහා වෙල්යායකි. අනෙක් පසින් බුරුත, කළුවර, පලු, වීර මහා වෘක්ෂයෝ අහස උසට විරාජමාන ව බලා ඉන්නේ ඈත අතීතයට එබී බලන දැවැන්තයින් මෙන් නැඟී සිටිති.
මේ මාවත ඔස්සේ යන විට ඈතින් දිස් වනුයේ දොළුකඳු ශිඛරය යි. ඒ සමඟ ම විසි වන සියවසට අයත් දැවැන්ත යකඩ ගේට්ටුවෙන් ඇතුළු වෙද්දී අක්කර ගණනාවක් පුරා විහිදී යන සෙනසුන් බිම් කෙතේ අභිනවයෙන් ඉදි වුණු ධර්ම ශාලාව නෙත ගැටේ. සිල් සුවඳින් සුවඳවත් වුණු මේ පින් කෙතේ ගල් කුලුනු, ගල් පඩි, සක්මන් මළු ආදිය අප ඈත අතීතයකට කැඳවාගෙන යයි. මේ ධර්ම ශාලාවේ ලැගුම් ගන්නෝ සතර පෝයට ම සිල් සමාදන් වන උවසු-උවැසියෝ ය.
ඉන් පසු පසින් ඇත්තේ භාවනානුයෝගි භික්ෂූන් වහන්සේට, යෝගාවචර භාවනානුයෝගීන්ට, සිල් සමාදන් වන උපාසක පිරිසට දන් පැන් සැකසෙන ගිනිහල්ගෙය යි. වසරේ සෑම දිනක ම ලක්දිව දසදෙසින් දාන භාර ගත් පිරිස විසින් ඒවා පිළියෙල වේ. ඉන් පසු සංඝාරාමයේ සිට දාන ශාලාව වෙතට තිබෙන සක්මන් මළුව යි. ඉදිරියට යද්දී වම් පසින් චෛත්‍යය, බෝමළුව, විහාරගෙය අප නෙත ගැටේ. මේවා සියල්ල වත්මනට අයිති ඒවා ය. දහවල දානයට කුටිවල භාවනානුයෝගී ව සිටි ස්වාමීන් වහන්සේලා ඉතා සන්සුන්, සංවර ගමනින් දාන ශාලාව කරා වඩිති. ඒ දකින කාගේත් සිත්-සතන් බුද්ධාලම්බන පී‍්‍රතියෙන් පිරී ඉතිරී යයි.
දාන ශාලා, විහාර විහාර සක්මන් මළු, සංඝාරාම පසු කර වන පෙතට පිවිසෙන ගල් පඩි නැඟ යද්දී මුලින් නෙත ගැටෙනුයේ ඒ භාවනානුයෝගී භික්ෂූන් වැඩ-වසන කුටිය යි. ‘නිශ්ශබ්ද වන්න’ පුවරුවෙන් ඔබ්බට යන අප සිහිල් මඳ පවනේ ගල් කුලුනු අතරින් රිංගාගෙන යන්නේ මලියදේව මහ රහතන් වහන්සේ වැඩ සිටි ගල් කුටියට යි. ඒ ගල්ලෙන ගල් පරයක සෙවණ ලබමින්, ගලින් ම වට වුණු තනි දොරක් හා ජනේල දෙකක් සහිත ගල්තලාවකින් හෙබවුණු ලෙනකි.