සීගිරියේ ඉතිහාසය....
සීගිරියෙ ඉතිහාසය ප්රාග් ඵෙතිහාසික යුගයේ සිට ක්‍රි: ව: 17 සහ 18 වන සියවස් දක්වා දිවයන්නක්. දැනට ලැබී ඇති පුරාවිද්‍යාත්මක සාධක අනුව සීගිරිය ජනාවාසවීම ක්‍රි: පූ 3000 තරම් අතීතයේදී සිදුවන්නට ඇති බව පැහැදිලි කරුණක්. විශේෂයෙන්ම පොතාන සහ අලිගල කැණීම්වලින් හඳුනාගත් අස්ථි අවශේෂ සහ ගල් මෙවලම් ඊට සාක්ෂි දරනව. එතනින් පසු ඉතිහාසය ගැන කතාකරද්දි සීගිරි දඹුලු ව්‍යාපෘති අධ්‍යයනය තුළින් පැහැදිලි වන කරුණක් තමයි ක්‍රි: පූ: හයවන සියවසත් ඉන් පසු කාලයෙත් මෙම ප්‍රදේශයේ විශාල වශයෙන් ජනාවාස ව... moreසීගිරියේ ඉතිහාසය....
සීගිරියෙ ඉතිහාසය ප්රාග් ඵෙතිහාසික යුගයේ සිට ක්‍රි: ව: 17 සහ 18 වන සියවස් දක්වා දිවයන්නක්. දැනට ලැබී ඇති පුරාවිද්‍යාත්මක සාධක අනුව සීගිරිය ජනාවාසවීම ක්‍රි: පූ 3000 තරම් අතීතයේදී සිදුවන්නට ඇති බව පැහැදිලි කරුණක්. විශේෂයෙන්ම පොතාන සහ අලිගල කැණීම්වලින් හඳුනාගත් අස්ථි අවශේෂ සහ ගල් මෙවලම් ඊට සාක්ෂි දරනව. එතනින් පසු ඉතිහාසය ගැන කතාකරද්දි සීගිරි දඹුලු ව්‍යාපෘති අධ්‍යයනය තුළින් පැහැදිලි වන කරුණක් තමයි ක්‍රි: පූ: හයවන සියවසත් ඉන් පසු කාලයෙත් මෙම ප්‍රදේශයේ විශාල වශයෙන් ජනාවාස ව්‍යාප්තියක් පැවති බව.
ක්‍රි: පූ: තුන්වන සියවසේ ඉඳල ක්‍රි:ව: දෙවන සියවස දක්වා කාලසීමාවෙදි සීගිරිය කියන්නෙ බෞද්ධ ආරාමික ස්ථානයක්. සීගිරි පර්වතය වටා බටහිර හා උතුරු බෑවුම්වල පිහිටි කටාරම් සහිත ලෙන් ලිපි රැගත් ගල්ලෙන්වලින් භික්ෂූන් වාසය කළ බවට සාධක ලැබෙනව. ඒ වගේම තමයි මෙ ස්ථානයෙන් ලැබෙන බෝධිඝරය, ප්රතිමාඝරය සහ ස්තූප පිළිබඳ සාධකත් පූර්ව කාශ්‍යප අවධියට අයත් අවශේෂ.
වංශ කතාව සඳහන් කරන ආකාරයට සීගිරියේ ස්වර්ණමය යුගය තමයි ක්‍රි: ව: පස්වන සියවස. ඒ කියන්නෙ අපි හැමෝම දන්න කාශ්‍යප රාජ්‍ය කාලය (ක්‍රි: ව: 477 – 495). හැබැයි මහාචාර්ය සෙනරත් පරණවිතාන මහත්තය මෙන්න මෙහෙම කතාවක් කියනව. ඒ තමයි සීගිරි පර්වතය මස්තකයෙහි මාළිගයක් නිර්මාණය කිරීමේ මූලික පියවර තැබුවෙ කාශ්‍යප නෙමෙයි ඔහුගෙ පියාවන ධාතුසේන බව. ඒ කොහොමවෙතත් ප්‍රාකාර, දිය අගල්, උද්‍යාන, මාළිගා වලින් සමන්විත මනරම් නගරයක් බවට සීගිරිය පත්කිරීමේ ගෞරවය කාශ්‍යපට හිමිවන බව තමයි ඉතිහාසඥයින්ගෙ මතය.
කාශ්‍යපගෙන් පස්සෙ සීගිරිය ගැන කතාකරද්දි හයවන සියවසේ සිට දහවන සියවස දක්වා කාලයට අයත් නව ආරාම සංකීර්ණයක නටඹුන් සීගිරියෙන් හමුවෙලා තියෙනව. ඒ වගේම තමයි සීගිරි කුරුටු ගී වල මුල්ම නිර්මාණත් කාල නිර්ණය අනුව පස්වන සියවසේ අග භාගයේ සිට හයවන සියවසේ මුල් භාගය දක්වා කාලසීමාවට අයත් බව හඳුනගෙන තියෙනව. කාශ්‍යපගෙන් පසු අවධියේ සීගිරිය ගැන විමසද්දි සිලාකාල කුමරු විසින් සංඝතිස්ස රජු මෙම ස්ථානයට රැගෙනවිත් මරාදමා රාජ්‍ය පැහැරගැනීමත්, පසුව සිලාකාලගේ අමාත්‍යවරයෙකු විසින් ඔහුවද මෙම ස්ථානයට ගෙනවිත් මරා දැමීම පිළිබඳව පුවතත් හැර මහාවංසයේ සඳහන් වෙන තොරතුරු ඉතාම අල්පයි. හැබැයි වංශකතාවෙ එහෙම උනාට අටවෙනි සියවසේ ඉඳල දාහතරවෙනි සියවස දක්වා කාලය තුළදි තමයි සීගිරිය නරඹන්න ආපු විවිධ ජනකොටස් කැටපත්පවුරෙ කුරුටු ගී ලියන්නෙ.
මෙතනින් පස්සෙ රජරට බොහෝ දේවල් වගේම සීගිරියත් වල් බිහිවීම සිද්දවෙනව. නැවතත් සීගිරිය පිළිබඳව අවධානය යොමුවෙන්නෙ ක්‍රි: ව: 1832 දි. ඒ තමයි පොළොන්නරුවෙ ඉඳල දඹුල්ලට ගමන් කළ බ්‍රිතාන්‍ය හමුදාවෙ සෙබළෙක් වන මේජර් ෆෝබ්ස් සීගිරිය දැකල ඒ පිළිබඳව වාර්තා කිරීමත් සමගයි. ඒ අනුව 1851 දි එච්. සී. පී. බෙල් සීගිරිය තරණය කරනව. ඒ වගේම රීස් ඩේවිස් විසින් සීගිරිය නරඹල රාජකීය ආසියාතික සංගමයේ සඟරාවකට වාර්තාවක් ඉදිරිපත් කරනව. ඒ වාර්තාවත් සමග තමයි සීගිරියේ මුල්ම පුරාවිද්‍යා කටයුතුවල ආරම්භය සිද්දවෙන්නෙ.
නගර නිර්මාණය....
දැන් අපි එමු සීගිරියෙ නගර නිර්මාණය පැත්තට. සීගිරිය බලකොටුවක්ද, ආලකමන්දාවක්ද, කලාගාරයක්ද කියන එක ගැන විවිධ මත පලවෙලා තියෙනව. ඇත්තටම බැලුවොත් සීගිරිය කියන්නෙ ඉතාමත් හොඳින් සැලසුම් කරන ලද රාජකීය නගරයක්. කොටින්ම කිව්වොත් රාජකීය ගොඩනැගිලි, පවුරු, දිය අගල්, දොරටු සහ උද්‍යානවලින් සමන්විත අතීත නාගරික සැලසුම්කරණයේ සහ උද්යානකරණයේ විශිෂ්ටතම උදාහරණයක්. සීගිරිය බලකොටුවක් ලෙස බොහෝ දෙනෙක් දකින්න ප්‍රධානතම හේතුවක් තමයි මෙය ඉතා ශක්තිමත් ලෙස ආරක්ෂාව තහවුරු කළ නගරයක් වීම. ආරක්ෂාව තහවුරු කරන්න
පිටත දිය අගල
පිටත ප්‍රාකාරය
ඇතුලත දිය අගල
ඇතුලත ප්‍රාකාරය
වශයෙන් දිය අගල් දෙකක් සහ ප්‍රාකාර දෙකක් නිර්මාණය කරල තියෙනව. මෙතනින් පිටත ප්‍රාකාරය බටහිර දිශාවට පමණක් විහිදීගිය ආකාරයක් තමයි දක්නට ලැබෙන්නෙ. සීගිරියෙ ප්‍රධාන දිය අගල වන ඇතුලත දිය අගල පර්වතය වටාම විහිදී ගිය බවට සාධක ලැබී තියෙනව. ඊට පස්සෙ අපිට හම්බවෙන ඇතුලත ප්‍රකාරය ගොඩනගල තියෙන්නෙ දෙපසට ගල් යොදාගෙන ඒ මැදට පස් පුරවල ඒ මතුපිට නැවත ගඩොල් යොදාගෙන. ඒ වගේම තමයි මෙම ප්‍රාකාරය වටා අවශේෂ වූ මුර අට්ටාල සාධක පවා දක්නට ලැබෙනව. අභ්‍යන්තරයට ප්‍රවිෂ්ටවීමට ඇතුල් ප්රාකාරයේ සිව් දිශාගතව දොරටු හතරක් දක්නට ලැබෙනව. උතුරු හා දකුණු දොරටු නිමවල තියෙන්නෙ අලි ඇතුන් යෙදූ රථවලට පවා යා හැකි තරම් විශාලත්වයකින්. මේ සෑම දොරටුවක් දෙපසම මුර අට්ටාල ගොඩනගල තියෙනව.
දැන් මුලින්ම අපි ඇහුවෙ වත්ත බැලුවද කියලනෙ. ඒ කියන්නෙ මේ සීගිරි උද්‍යාන නිර්මාණය. සාමාන්‍යයෙන් අපි සීගිරියට ඇතුළුවෙන්නෙ පර්වතයෙ බටහිර ප්‍රදේශයෙන් තියෙන පිවිසුම් මාර්ගයෙන්. ඇත්තටම සීගිරියෙ මෙම ඉදිකිරීම්වල නිර්මාණාත්මක ස්වභාවය වඩා හොඳින් වටහාගන්න පුලුවන්කම තියෙන්නෙත් මේ බටහිර ප්‍රදේශයෙන්ම තමයි.
ජල උද්‍යානය...
සීගිරියෙ තියෙන උද්‍යාන සංකල්ප අතරින් සුවිශේෂීම නිර්මාණය තමයි මේ ජල උද්‍යානය. ඇතුලත ප්රාකාරයේ ඉඳල ශිලා උද්‍යානය නමින් හඳුන්වන කොටස දක්වාම විහිදී ඇති මෙම ජල උද්‍යානයේ ඇති සුවිශේෂී කරුණක් තමයි සමස්ථ උද්යානයමය සමමිතික ස්වභාවයක් ගැනීම. එකම තැනකදි විතරක් මේ සමමිතිකබව බිඳවැටෙනව. මේ ජල උද්‍යානය තවදුරටත් කොටස් කිහිපයකට බෙදෙනව
ක්ෂුද්‍ර ශිලා උද්‍යානය
ප්‍රධාන පොකුණු සහිත උද්‍යානය
ශීත මාළිගා සහිත ජලමල් උද්‍යානය
ක්ෂුද්‍ර ශිලා උද්‍යානය
බටහිර පිවිසුම ඇතුළත, ජල උද්‍යානයේ ප්‍රධාන ප්‍රාකාරය අසලින්ම ජල උද්‍යානයට බටහිර දෙසින්, වඩා වෙනස් ස්වභාවයකින් යුත් උද්‍යානයක් දක්නට ලැබෙනව. මේක හඳුන්වන්නෙ ක්ෂුද්‍ර ශිලා උද්‍යානය නමින්. වර්ෂ 1980දි සිදුකරපු කැණීම්වලින් තමයි මේ කොටස මතුකරගන්නෙ. මේක ජල කාණු, ජල ටැංකි, පොකුණු, දිය අගල් වැනි නිර්මාණ රාශියකින් සමන්විත ඉතාමත් කුඩා ප්‍රමාණයේ පාෂාණවලින් කළ නිර්මාණ සංකීර්ණයක්. ඒ වගේම තමයි මෙහි සියළුම නිර්මාණයන් ගොඩනගල තියෙන්නෙ එක් පසෙක ඉඳල ක්‍රමානුකූලව ජලය බැස යන ආකාරයට. කාල වකවානු කිහිපයකට අයත් ඉදිකිරීම්වල සාධක මෙහි දක්නට ලැබෙනව. මුල්කාලීන ඉදිකිරීම් පස්වන සියවසේ අග භාගයට අයත් වුවත් කාලයත් එක්ක අත්හැර දමාගොස් නැවත දහවන සහ දහතුන්වන සිවවස් අතර කාලයෙදි යළි ඉදිකිරීම් කළ බව තමයි පුරාවිද්යාඥයින්ගෙ අදහස.
ප්‍රධාන පොකුණු සහිත උද්‍යානය.....
සීගිරි ජල උද්‍යානයේ මධ්‍යයට වන්නට තමයි මේ ප්‍රධාන ජල තටාකවලින් යුත් උද්‍යානය පිහිටල තියෙන්නෙ. මෙම කොටස ගොඩනගල තියෙන්නෙ ප්‍රවිෂ්ට මාර්ගයට දෙපසින් “L” හැඩැති පොකුණු දෙක බැගින් හතරක් එකට බද්ධකරල තමයි මෙම කොටස ගොඩනගල තියෙන්නෙ. මේ පොකුණු ප්‍රමාණාත්මකව තරමක් විශාලයි. මේ පොකුණුවලට ඔබ්බෙන් පිහිටල තියෙන්නෙ පිවිසුමේ පඩිපෙළ සහ බලකොටුවේ දැවැන්ත ගඩොල් සහ ගල් බිත්ති. මෙම උස් බලකොටු ප්‍රාකාරය දැන් එහි මුල් උසින් අඩකටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි දක්නට ලැබෙන්නෙ.
ශීත මාළිගා සහිත ජලමල් උද්‍යානය.....
සීගිරි පර්වතය මුදුනේ සිට විවිධ ක්‍රම මගින් ශිලා උද්‍යානය කරා එන ජලය එම ප්‍රදේශය පෝෂණය කර උමං ජල මාර්ග මගින් මෙම ස්ථානයට රැගෙනවිත් එය ගුවනට විහිදී යන ආකාරයේ සමමිතික ශිලාමය ජලමල් හතරක් ප්‍රවිෂ්ට මාර්ගය දෙපස දක්නට පුලුවන්. මේ ජලමල්වලට පිටතින් තමයි ශීත මාළිගා ගොඩනැගිලි දක්නට ලැබෙන්නෙ. මෙම ගොඩනැගිලි නිර්මාණය කරල තියෙන්නෙ පුරවාගත් උස් පදනමක් මත. ඒ වටා කෘතිමව ඉදිකළ දිය අගලක් පවතිනව. මේ නිසා මෙම කොටස දක්නට ලැබෙන්නෙ කුඩා දූපතක ආකාරයට. මෙම කොටස තුළ පොකුණු කිහිපයක්ද දක්නට ලැබෙනව. ශිලා උද්‍යානයට ආසන්නයෙන්ම දකුණුපස හතරැස් පොකුණක් දක්නට ලැබෙනව. ඊට සමාන්තරව වම් පසින් දකින්න තියෙන්නෙ අටපට්ටම් හැඩයක් තියෙන පොකුණක්. මේ ලිපියෙ මුලදි කිව්ව සීගිරියෙ බටහිර පිවිසුම් මාර්ගයේ තියෙන ජල උද්‍යානයේ සමමිතික බව බිඳවැටෙන එකම තැන තමයි මෙන්න මේ පොකුණු දෙක.
ශිලා උද්‍යානය.....
ජල උද්‍යානයෙන් පස්සෙ තියෙන්නෙ ශිලා උද්‍යානය. මේක නිර්මාණාත්මක බවින් සහ ව්‍යාප්තිය අතින් ගත්තම ජල උද්‍යානයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. ජල උද්‍යානය බටහිර ප්‍රදේශයට සීමාවුන සමමිතික ඉදිකිරීම්වල එකතුවක්. නමුත් ශිලා උද්‍යානය පර්වතය වටාම විහිදී ගිය අසමමිතික ලක්ෂණ පෙන්වන ඉදිකිරීම් සමූහයක්. පූර්ව කාශ්‍යප යුගයට අයත් භික්ෂූන් වාසය කළ ගල් ලෙන් රාශියක් මෙහි දක්නට ලැබෙනව. පසුකාලීනව මෙම සෑම ගල් ලෙනක්ම වගේ සිතුවම් නිර්මාණය සඳහා යොදාගෙන ඇති බව ශේෂ වී ඇති නිර්මාණවලින් වටහාගන්න පුලුවන්. මෙහි වඩාත් කැපී පෙනෙන ඉදිකිරීම් කිහිපයක් තමයි බෝධිඝරයක්, පිළිම ගෙයක් ලෙස යොදාගන්නට ඇතැයි සිතිය හැකි වූ ගල් පියස්සක් සහ ගල් පර්වතයක් මුදුනේ ඇති ස්ථූපයක නටබුන්. මෙම යුගයේ ආරාමයේ ප්‍රධානියාගේ වාසස්ථානය ලෙස ද ක්‍රියාත්මක වූ උපෝසථාගාරය අද දක්නට ලැබෙන්නෙ උස් ගල්තලාවක් මත පිහිටා ඇති ගොඩනැගිල්ලේ සෘජුකෝණාස්රාකාර දළ සටහනෙන් විතරයි.
කුඩා ගල් පර්වත උපයෝගී කරගෙන ඒ මත ඉදිකරන ලද විවිධාකාර නිර්මාණ කිහිපයක්ම මෙම ශිලා උද්‍යානය තුළ දක්නට ලැබෙනව. ස්ථාන කිහිපයක පාෂාණයෙන් කපන ලද සහ ටෙරාකොටාවලින් තැනූ ජල මාර්ග සහ ජලය රඳවා තබා ගැනීමේ පොකුණුවල නටබුන් ඇති අතර, එයින් පෙන්නුම් කරන දෙයක් තමයි සීගිරියෙ ජල කළමනාකරණය මෙම ශිලා උද්‍යානය තුළදිත් භාවිතයට ගෙන ඇති බව. සභා ගල සහ පොකුණු ගල යනුවෙන් වර්තමානයෙ හඳුන්වන නිර්මාණ ද්විත්වය මෙයට හොඳ උදාහරණයක් සපයනව.
මෙතනින් එහාට තියෙන්නෙ මාලක උද්‍යානය සහ ගල උඩ උද්‍යානය. තේරෙන භාෂාවෙන් කිව්වොත් සීගිරියෙ ලෝක ප්‍රකට බිතු සිතුවම් සහිත කොටස, කැටපත් පවුර, සිංහ පාදය සහිත කොටස සහ පර්වත මස්තකයෙහි පිහිටල තියෙන ගොඩනැගිලි සංකීර්ණය. දැන් මේ කොටස් ගැන බොහෝ දෙනෙක් දන්නවනෙ. මේ ලිපියෙ මූලික අරමුණ උනේ බහුතරය වැඩිය අවධානය යොමු නොකරන සීගිරි පර්වතය පාමුල පිහිටි උද්‍යානයන් පිළිබඳව සංක්ෂිප්තව අවබෝධයක් ලබාදීමයි. සීගිරිය මෙතනින් ඉවරද? නැහැ. ඉබ්බන්කටුව, පිදුරංගල, පොතාන, අලිගල, මාපාගල සහ රාමකැලේ ගැන වෙනත් ලිපියකින් කතාකරමු...
................අන්තර්ජාලය ඇසුරෙනි...............
උපුටා ගැනීමකී ...