මාර්ටින් වික්‍රමසිංහ මහතා- චරිතාපදානය | A3BOOk

මාර්ටින් වික්‍රමසිංහ මහතා- චරිතාපදානය

"මගේ කය වැඩුනේ අනෙක් සිංහල ගැමියෙකුගේ කය වැඩුනාක් මෙනි. සිත වැඩුන්නේ වෙනස් විදියකිනි. උසස් විදුහලකින් හෝ පඬිවරයෙකුගෙන් හෝ පිළිවෙලින් උගැන්මක් නොලත් මා දැනුම ලැබුයේ අත්දැකීමෙන් හා ආසාවෙන් පොත් කියවීමෙනි."
 
කොග්ගල ප්‍රාඥයා හෙවත් සිංහල යථාර්තවාදී නවකථාවේ පුරෝගාමියා,මාර්ටින් වික්‍රමසිංහ මහතා 1890 මැයි මස 29 වන දින කොග්ගල ග්‍රාමයේ විසූ, මලලගම ළමා හේවගේ දොන් බස්තියන් වික්‍රමසිංහත් මව මාගොල්ල බලපිටියේ ලියනගේ නොච්චිහාමි ට දාව උපත ලැබීය.
 
1895 දී අන්දිරිස් ගුරුන්නාන්සේගෙන් ඉගෙනීම ආරම්භ කල මොහු 1897 දී ගමේ පාසලට ඇතුලත් වූ අතර අනතුරුව 1900 දී ගාල්ලේ බොනවිස්ටා පාසලට ඇතුලත් විය.පියාගේ අභාවයත් සමග ඇති වූ ආර්ථික අපහසුකම් වැඩි වීම හේතුවෙන් 1902 වන විට පාසලෙන් අස්වී කොග්ගල වීරානන්ද හිමියන් වෙතින් සිංහල හා පාලි සංස්කෘත ඉගෙනගත් අතර එතුමාගේ පළමු ග්‍රන්ථය "බාලෝපදේශය" මෙම කාලය තුල දී පළ කෙරිණි.1904 දී නැවත අහංගම සිංහල පාසලට ඇතුලත් වූ මොහු 1906 දී නැවතත් පාසලෙන් ඉවත්වී කොළඹ කරෝලිස් සිල්වා සාප්පුවේ ලියන්නෙකු ලෙස සේවය කලේ ය. ලක්මිණ, දිනමිණ හා සිළුමිණ පුවත්පත් වල කර්තෘ තනතුර හෙබ වූ මොහු 1914 දී "ලීලා" නැමති නවකතාව ලියා ලේඛකයෙක් බවට පත්විය.
 
1944 දී පල වූ මෙතුමා ගේ "ගම්පෙරළිය" නව කතාව තුළින් මෙරට එතෙක් තිබූ නවකතා සාහිත්‍යය හා සිංහල සාහිත්‍ය නව හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරවීය.ඉන්පසුව තුන් ඈදුතු නවකතාව සම්පූර්ණ කරමින් "යුගාන්තය" සහ "කලියුගය" බිහි විය.
 
එතුමා විසින් රචිත නවකතා කීපයක්,
 
- ලීලා - 1914, 
- සෝමා – 1920, 
- අයිරාංගනී - 1923,
 - සීතා - 1923, 
- මිරිඟු දිය - 1925,
 - උන්මාද චිත්‍රා - 1929, 
- රෝහිණී - 1929, 
- ගම්පෙරළිය -1944,
 - මඩොල් දූව - 1947, 
- යුගාන්තය - 1949,
 - විරාගය - 1956, 
- කලියුගය - 1957, 
-කරුවල ගෙදර- 1963, 
 
 
රචිත කෙටි කතා,
- ගැහැනියක්,
- බිල්ල සහ අපූරු මුහුණ,
- මගේ කථාව,
- මගුල් ගෙදර,
- හද සාක්කි කීම,
- වහල්ලු,
- පව්කාරයාට ගල් ගැසීම,
- අපේ විත්ති,
- කතා අහුර.
 
ඔහුගේ ජීවිත කතාව ඇසුරින් රචිත කළුනික සෙවීම, අපේගම, උපන් දා සිට
ආදී ග්‍රන්ථ අදටත් සාහිත්‍යය තුල වැදගත් ලක්ෂයන් වේ.මේ අනුව,මාර්ටින් වික්‍රමසිංහ මහතා විසින් ළමා කෘති හතරක්ද, ජීව විද්‍යා කෘති හයක්ද, අතිරේර්ක කියවීම් පොත් හතරක්ද, නවකතා දාහතරක්ද, කෙටි කතා එකොළහක්ද, නාට්‍ය හතරක්ද," තේරී ගී" නමින් පද්‍ය කාව්‍යයක්ද, විචාර ග්‍රන්ථ විසි තුනක්ද, ආදී වශයෙන් ග්‍රන්ථ රාශියක් මෙරට සාහිත්‍යය පෝෂණය කිරීමෙහිලා දායාද කර තිබේ.
 
මෙසේ එදා මෙදා තුර ශ්‍රී ලාංකික සාහිත්‍යයේ පෝෂණයට අනුපමේය මෙහෙයක් කල මාර්ටින් වික්‍රමසිංහ මහතා 1976 ජූලි මස තම ජීවන රඟ මඩලින් සමු ගත්තේ ශ්‍රී ලාංකික සාහිත්‍යයේ අමරණීය නාමයක් ඉතිරි කරමිනි.
Posted in Social on May 30 2022 at 12:25 PM
Comments (2)
No login
gif
Login or register to post your comment